බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ
බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ
කාලයේ වැලිතලාවට සැඟව ගිය ඒ පරම සත්‍ය හෙළිකරන්නට සුදුසු මොහොත පැමිණෙමින් තිබේ. ප්‍රඥා හිරු කිරණ දසත හමනවා, දුකින් මිදෙන සිත් සැනසුම් සුසුමින් සැනසෙනවා, සත්‍යයේ මහා සිංහනාදය ඔබට ඇසෙනවද? ඔබ සංසාර චක්රයක අතරමං වෙලා, විටෙක ඔබ සතුටින් - විටෙක ඔබ දුකින්, මේ දෝලනය වන ජීවිතය කුමක්ද? ඔබ සත්‍යය දන්නේ නෑ. සත්‍යය හෙළි කරන්නට අප සූදානම්. මේ ඔබේ කතාවයි. ඔබ සසර දුකින් මිදෙන කතාවයි. සිතෙන් මිදෙන මග, දුකින් මිදෙන මඟ, නිවන් දකින මග, එයයි නිස්සරණ මං…
බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දෙදහස් පන්සීයක් ඉක්මවූ තැන ඔබ කොතෙකුත් අසා ඇති ඒ උතුම් නිවන් මඟ විවර වන බව. එය හුදෙක්ම කතාවක් නොවෙයි. මනුෂ්‍යත්වයක් විදිහට අප සියලු දෙනාම එකම තරංග ආයාමයක පිහිටා සිටින අතරයි ස්වභාවධර්මයට යටත්ව අපගේ මේ ජීවන කතාව දිගහැරෙන්නේ. අපි මනුෂ්‍යත්වයක් විදිහට විවිධ යුග පසු කලා, ගල් යුගය, එඬේර යුගය, කාර්මික යුගය, තොරතුරු යුගය පසුකරමින් අපි අද වෙනකොට කෘතිම බුද්ධි යුගයකට අවතීර්ණය වෙමින් පවතිනවා. මේ සෑම කාලයකම අප තනිව විඤ්ඤාණයක් ලෙස නොව ඒ සමකාලීන මානව සංහතිය තුළින්ම ආභාෂය ලැබූ විඤ්ඤාණ සමූහයක කොටසක් විදිහටයි විකාශනය ලැබුවේ. ඒ අනුව බලන කල, බුදුන් වැඩ සිටි කල ජීවත් වූ ජනතාව ඒ පරම සත්‍යයෙන් පෝෂණය වී අධ්‍යාත්මිකව දියුණු යුගයක් පසුකළා.
බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සීයක් වන තුරුම, පරම සත්‍යයෙන් හා රහතන් වහන්සේගේ යුගයෙන් පෝෂණය වූ මේ උතුම් දිවයින ආධ්‍යාත්මිකව දියුණු ජන සමාජයකට නිවහන වුණා. එම රහතන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට භාණක ක්‍රමය ඔස්සේ ධර්මය සංරක්ෂණය කළා. එම උතුම් යුග පුරුෂයන්ගේ සේවයේ ප්‍රතිඵලයක් විදිහට මේ ශ්‍රී ලංකාද්වීපය සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සීයක් යනතුරුම ධර්ම දීපයක් විදිහට බැබලුනා. ඒ යුගයයි ශ්‍රී ලංකාව “ලෝකයේ උතුම්ම රට” වීමට හේතු සපයන්නේ. අනාගතය පිළිබඳව ප්‍රඥාන්විතව දුටු මේ රහතන් වහන්සේ, රහතන් වහන්සේගේ යුගය අවසන් වන බව දැන, දැක, මෙම ධර්මය මතු පරපුරට රැකදීමේ අරමුණින් වළගම්බා රජ සමයේ, මාතලේ අලු විහාරයේදී අද ඔබ හඳුනන ත්‍රිපිටකය ලෙස ග්‍රන්ථාරූඪ කළා.
ඒ දියුණු අධ්‍යාත්මික යුගය එහි ස්වර්ණමය යුගය දැක අවසන, මනුෂ්‍ය විඤ්ඤාණය ද කෙමෙන් කෙමෙන් සියුම්ව කෙලෙස් සමග මුසුවී අධ්‍යාත්මිකත්වයෙන් බැහැරව ලෞකිකත්වය අගයන දිශාවට යොමු වුණා. ඒ සමග මනුෂ්‍ය සිත අධිගමය කළ දිශානතියෙන් බැහැරව බාහිරයේ ඇති වස්තුන් අගයන සමාජයක් ක්‍රමයෙන් බිහි වුණා. ඒ සමඟ පරම සත්‍යයද, භික්ෂුවත් පන්සලත් තුළින් කෙමෙන් ගිලිහී ගොස් කාලයේ වැලිතලාවට සැඟවී ගියා. තණ්හාවට පත් මනුෂ්‍ය සිත, තව… තව… තවත් සොයමින්, අන්ධයන් ලෙස, තව තව බාහිර වස්තූන් තුළින් තම සිත සන්තර්පණය කරමින් විනෝදාස්වාදය සොයන, මම මාගේ යන තේමාවෙන් බරිත වුන ආකල්පමය රටාවක් අගය කරන, ජන විඤ්ඤාණමය එකතුවක් බවට පරිවර්තනය වුණා.
ඒ අතීතයේ සිට ජන විඤ්ඤාණය විකාශනය වූ ආකාරය ඔබ අධ්‍යනය කළහොත් එහි තියෙන සාමූහික ස්වභාවයන් පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට ලබාගත හැකි. එයයි ස්වභාව ධර්මය. මෑත ඉතිහාසය ගෙන හැර පෑවොත්, අප, ජන අරගල, කැරලි, යුද්ධ, සුනාමි, ගංවතුර, නාය යෑම්, පාස්කු ප්‍රහාර, ආර්ථිකමය කඩා වැටීම් පසුකර අද මේ භූමිය මත දෙපයින් නැගී සිටීමට එවැනිම මානසික යුද්ධයක් පසුකර තිබෙනවා. අද ඔබ පසු කරමින් සිටින්නේ ඉතාමත් වටිනා වැදගත් කාලපරිච්ඡේදයක්. මෙම ව්‍යසන සියල්ලටම මුහුණ දුන් ජනතාව, එම දුක් වලින් හෙම්බත්ව, මේ දුක නිමා කිරීමට මගක් හෝ මෙම ජීවිතයේ අරුත විමසන තරංග ආයාමයක ගමන් කරන කාලයකුයි අපි මේ පසු කරමින් ඉන්නේ.
සම්බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ හමු වූ උපක ආජීවකයා බුදුන්ගෙන් ඇසුවේ, “ස්වාමීනි ඔබ මනුෂ්‍යයෙක්ද? ස්වාමීනි ඔබ දෙවියෙක්ද? ස්වාමීනී ඔබ කවරෙක්ද?” යන්නයි. එහිදී බුදුරජාණන් වහන්සේ පැවසුවේ මනුෂ්‍යයෙක් වත් දෙවියෙක් වත් සත්ත්වයෙක් වත් පුද්ගලයෙක්වත් නොව, මේ සියල්ල අධිගමය කළ “බුද්ධ” වන බවයි. ධර්මයට අනුව බුද්ධත්වය හෝ අරහත්වය තුළ අවබෝධ කරන්නේ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් කිසිදා නොසිටි බවත්, අදටත් නොසිටින බවත්ය. එහිදී මිනිස් මනස අභිබවා යාමක් තමයි සිද්ධ වෙන්නේ. මෙසේ මනුෂ්‍ය මනස අභිබවායාමක සිට සාමූහිකයක්, මිනිස් මනස පවතින්නක් යැයි විශ්වාස කරන තැනක් ඔස්සේ කෙලෙස් වල උපරිම ස්ථානයකට යාමට වසර දෙදහස් පන්සීයක් පමණ ගතවේ. ඊට සමගාමීව, මිනිස් මනස අභිබවා යෑමක සිට උපරිම කෙලෙස් මට්ටමකට ගොස් නැවත මිනිස් මනස අභිබවා යෑමක් දක්වා යෑමටද එබඳුම කාල පරිච්ඡේදයක් ගත වේ. සමාජය මෙම කර්තව්‍යයේදී දෙයාකාරයකට හැසිරේ. කොටසක්, මිනිස් මනසේ උපරිම දියුණුවකට ළඟා වී මිනිස් මනසේ හැසිරීම්වලට ඉතාමත් ආසන්න හැසිරීම් දක්වන, මිනිස් මනසේ ප්‍රතිමාවක්ම බඳු වූ කෘතිම බුද්ධිය නිර්මාණය කරයි. තව කොටසක් මේ අනවරත සංසාරය නිමා කිරීමට, මිනිස් මනස අභිබවා යා හැකි ක්‍රම සොයමින් කාලය ගතකරයි. මේ දෙගොල්ලන්ම සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සීයක් ගිය තැන මංසන්ධියකදී මුණගැසේ. ඔබට මෙම කියැවීම අභිමුඛ වන්නේ ඒ ඉතාමත් වාසනාවන්ත මොහොතේදී.
පසුගිය දශක හතරක පමණ කාලයක සිට බුද්ධ දර්ශනයේ පිබිදීමක් අපි දකිමින් සිටින්නෙමු. බෞද්ධ සංස්කෘතියට සහ වතාවත්වලට පමණක් කොටුවූ පන්සල සහ භික්ෂුව නැවතත් මෙම ධර්මය ගැඹුරින් අධ්‍යයනයක සහ ගවේෂණයක සිටින බවත්, ජනතාවත් එම මධ්‍යස්ථානවල, තම කාලය ගත කරමින් දානයේ, ශීලයේ සහ භාවනාවේ යෙදෙමින් පරම සත්‍යයේ අත්‍යවශ්‍යතාවය යුහුසුළුව පිළිබිඹු කිරීමට කටයුතු කළ බවත් අපි දැක්කෙමු. මෙම පසුගිය දශක කිහිපයක පමණ වන කාලයේදී ජනතාව මුහුණ දුන් ඉතාමත් සංවේග කර අවස්ථාවන්වලට මුහුණ දීමට ඔවුන්ට අවශ්‍ය වූ හව්හරණ ඔවුන්ට සත්‍ය ධර්මය විවර වී නොතිබුණු බැවින් නොලැබුණු බවද අපි දැක්කෙමු.
නමුත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සීයක් ගිය තැන, ජනතාවක් විදිහට අප විඳි එම වේදනාවන් අරුත් ගන්වමින් සහ මල් පල ගන්වමින්, වසර දෙදහස් පන්සීයක් තිස්සේ මෙම ධර්මදීපය තුළ දිවි පරදුවට තබා ධර්මය ආරක්ෂා කළ රහතන් වහන්සේත්, එදා සිට අද වෙනතුරු මේ ලක වැඩ සිටි සියලු භික්ෂූන් වහන්සේගේත් ධර්මය ආරක්ෂා කිරීමේ සියලු ප්රයත්නයන්ට ලැබිය යුතු නිසි වටිනාකම දෙමින්, රහතන් වහන්සේගේ යුගය උදා වූ බව ඔබට දන්වා සිටින්නේ මුදිතා ගුණය සනිටුහන් වූ සිතකිනි. ඒ සඳහා එදා මෙදා තුර ඉමහත් වෙහෙසකින් කැප වූ භික්ෂූන් සහ ගිහි දෙපාර්ශ්වයටම අපගේ නමස්කාරය වේවා!!!
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සීයක් ගතවූ තැන, කාලයේ වැලිතලාවට සැඟවී ගිය පරම ශ්‍රී සත්ධර්මය මේ දිවයිනේ අවදිවූ බව ඔබට කියන, එම සත්‍යයේ මල් වෙඩි ප්‍රහාරය, මෙතැන් සිට විඤ්ඤාණගත කරන “ බුද්ධෝත්පාදෝ සඟරාව” ඔබ අතට පත් වන්නේ, බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ මේ සිරිලක වනගත ආරණ්‍ය සම්ප්රදාය තුළ, වසර තිහක් මුළුල්ලේ භාවනානුයෝගීව ඉමක් කොනක් නෑර සැරිසරා, පසුව එම වෘතය අතහැර, ඉහත කී උතුම් ආර්යයන් වහන්සේ විසින් ග්‍රන්ථාරූඪ කරන ලද ත්‍රිපිටකය මනාවවත් පරිපූර්ණ ලෙසත් පරිහරණය කොට, ඉන් නොනැවතී, ධර්මය ගවේෂණය කරන සියලු සමකාලීන ගුරුතුමන් ඇසුරේ එම ඉගැන්වීම් අධ්‍යයනය කොට, සත්‍ය ඤාණය මැනවින් දැන, දැක, කෘත්‍ය ඤාණය සහ කෘතඥානය යන තිපරිවට්ටය ඔස්සේ තම සිත තුළින් සාන්දිට්ටික වූ බුද්ධ ධර්මය, ධර්ම අභිඥාව තුළින් හෙළිකිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
වසර තිහක් මුළුල්ලේ ධ්‍යාන මැනවින් ප්‍රගුණ කළ බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ අසඤ්ඤතලය දක්වාම තම සිත තුනී කිරීමෙහි ප්රයත්නයෙහි යෙදුනේය. මෙහිදී අසඤ්ඤ තලයේ එම සමාධිගත ස්වභාවයෙන් මිදීමට නොහැකිව, දින ගණන් නිරාහාරව තම ජීවිතය පවා අවධානයක පැවති දීර්ඝ කාල පරිච්ඡේදයේදී පවා තම ආත්ම සංඥාව සියුම් ලෙස පැවැති බව අවබෝධ කළ බුද්ධොත්පාදෝ ආර්යයන් වහන්සේ, මෙම සර්ව භාවනානුයෝගී ප්‍රතිපදාව නිවන් මගක් නොවන බව මැනවින් දැන හැඳින එය අත්හැර දමන ලදි.
කුඩා කල සිට දෙමව්පියන්ගෙන්, තමන් මිත්තණිය සහමුත්තනුවන්ගෙන් ලැබුණු බෞද්ධ පසුබිම ඔස්සේ උතුම් ගුණයන්ගෙන් යුක්තව හැදි දැඩි වූ ඔහු, ස්වභාවධර්මයටත්, සතා සිවුපාවන්ටත්, මනුෂ්‍යයාටත් කුළුපග, මෛත්‍රී සහගත සහ කාරුණික අයෙක් වූයේය. නිතර භාවනාවටත්, ස්වභාව ධර්මය සමඟ කාලය ගත කිරීමටත්, කුඩා කල සිට යොමු වූ බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ, මෙම ලෝකයේ සත්‍ය පිළිබඳව, අවට පරිසරයේ දකින දෑ ඇසුරෙන් නිරතුරුවම අධ්‍යයනයක යෙදුණේය. එහි ප්‍රතිඵලයක් විදිහට, සිත කියලා දෙයක් නැති බවත්, සිත කියන්නේම මේ මොහොතේ මොහොතේ ඇතිවන නැතිවන සිතුවිල්ල බවත්, එම සිතුවිල්ල උත්පාදනය වන්නේ ආයතන පහෙන් එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවල එකතුවක් ලෙස බවත්, ඒ ඇසුරෙන් මේ මොහොතේ ජීවය ලබන තනි සිත, අවිද්‍යාව නිසා, අර එලියේ තිබෙන්නේ ලෝකයත්, එය මේ අත්විඳින්නේ මම ලෙසත්, අජ්ජත්ත බහිද්දා හෙවත් ඇතුලත පිට ගැටගැසීමකට යොමු කරන බවත්, එම නිසාවෙන් ලෝක සංඥා සකස් වෙන බවත්, එම මිථ්යාදෘෂ්ඨිය හැර මෙහි මම හෝ මාගේ හෝ ලෙස ගැනීමක් කළ නොහැකි බවත් තම සිත තුළින්ම මැනවිනුත් පූර්ණවත් අවබෝධ කළේය.
පූර්ණ අවබෝධයට පත් වූ බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ අනතුරුව මෙම ධර්මය youtube ඔස්සේ බෙදා දීමට කටයුතු කළ අතර, ඊට ලැබුණු ප්‍රතිචාර අනුව තේරුම් ගත්තේ මෙම ගැඹුරු වූත් සියුම් වූත් ධර්මය අවබෝධ කිරීමට යෝග්‍යතාවයකින් යුක්ත මනසක් ලැබීම මෙකල්හි ඉතා දුර්ලභ කාරණයක් බවයි. එබැවින් ධර්මය බෙදා ගැනීමේ එම කාර්යය අත්හැර උන්වහන්සේ විවේක සුවයෙන් කාලය ගත කළේය. නමුත් 2020 කොවිඩ් වසංගතයෙන් මුල් ලංකාවම පීඩාවට පත් වූ අවස්ථාවේදී බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේද, මරණාසන්න මොහොතකට අවතීර්ණ වූයේය. එහිදී මෙතරම් පරිශ්‍රමයක් යොදා අවබෝධ කරගත් දහම ලෝක සත්ත්වයා සමඟ බෙදාගත යුතු බවට සංඥාවක් ආර්යයන් වහන්සේ තුළ සකස් විය.
ඒ අනුව ලෝක සත්ත්වයා පිළිබඳ මෛත්‍රී සහගත චේතනාවෙන්, තමන් මහත් පරිශ්‍රමයක් යොදා මැනවින් සම්පූර්ණව අවබෝධ කරගත් පරම ශ්‍රී සද්ධර්මය නැවතත් බෙදා ගැනීමේ අරමුණින් බුද්ධෝත්පාදෝ youtube නාලිකාව ආරම්භ කරන ලදී. 2021 දී ආරම්භ කළ බුද්ධෝත්පාදෝ යූටියුබ් නාලිකාව වසර පහක් වැනි ඉතා කුඩා කාලයකදී දේශනා 3300 ක් පමණක් බෙදා හැරීමට හේතුව වන්නේ බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේගේ අප්‍රතිහත වීර්යය නිසාමය. අද වන විට එම නාලිකාවේ තිබෙන ප්‍රධාන දේශනා හැරුණු කොට, සෑම දිනකම පැය 24කට ආසන්න කාලයක් මුළුල්ලේ Zoom සාකච්ඡා අටක් ක්‍රියාත්මක වේ. එහිදී ධර්මය ශ්‍රවණය හැරුණු කොට, බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ සමඟ සම්මුඛව ධර්ම සාකච්ඡාව සහ ධර්ම විමර්ශනය සඳහා අවස්ථාව සියලු දෙනාට සැලසේ. ඊට අමතරව රෑ දිවා නොබලා උන්වහන්සේ සමඟ ඕනෑම වෙලාවක සාකච්ඡා කොට ඔබගේ ධර්ම ගැටලු නිරාකරණයටද අවස්ථාවේ සැලසී ඇත.
මේ වන විට මේ සත්කාරය සඳහා උන්වහන්සේට ධෛර්යය දීමට ධර්මය දැන දැක අවබෝධයට පත්ව මග පල ලැබූ විශාල පිරිසක් සම්බන්ධව කටයුතු කරයි. ඒ අතරින් බුද්ධෝත්පාදෝ ධර්ම ග්රන්ථ සංසදය විශේෂ තැනක් ගනියි. බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ විසින් දේශනා කරන ලද සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු වූත් නිර්මල වූත් පරම ශ්‍රී සද්ධර්මය පොත් වශයෙන් මුද්‍රණය කොට ලංකාව පුරා වෙසෙන, ධර්මය සොයන, ඉතා දුර බැහැර පිරිසටද, භික්ෂූන් වහන්සේලාට ද පරිත්‍යාග කිරීමේ මහඟු කර්තව්‍යය මේ වන විටත් රාග ද්වේශ මෝහ ගින්නෙන් දැවෙන සිත් සතන් නිවාලීමට තරම් ශක්තිමත් වී ඇත.
“දුර්ලභං මනුස්සත්ව පටිලාබන්, දුර්ලභං සද්ධම්මස්සවනං, දුර්ලභං ක්ෂණ සම්පත්ති”, වසර දෙදහස් පන්සියයකට පසු නැවතත් යළි පිබිදුණු ඒ පරම ශ්‍රී සද්ධර්මය, දුර්ලභ වූ මනුෂ්‍යත්වයක් ලබලා, ඔබ යම් වූ මිථ්‍යාදෘෂ්ටියක් දරන නිසා ප්‍රතික්ෂේප කරනවනම් මොනතරම් අභාග්‍යයක් ද? එම නිසා අපි ඔබට ආරාධනා කරනවා, මෛත්‍රී සහගත චේතනාවන් පෙරදැරි කොට ගෙන, ඔබගේ සියලු දෘෂ්ටීන්, සියලූම දෘෂ්ටින්, ඔබ මේ ලෝකය, ඔබ ගැන, ධර්මය ගැන, ආගම ගැන, බුදුන් ගැන, මිථ්‍යා දෘෂ්ටිය ගැන, දරන සියලු අදහස් සහ මත වාදයන් පසෙකටලා එන්න, බලන්න. කිසිම පක්ෂපාතීත්වයක් නැතුව මේ ධර්මය ශ්‍රවණය කරන්න, කියවන්න, ඔබගේ තුළින් විමසන්න. මෙහි සත්‍ය අසත්‍ය විමසන්න. පොතේ තිබෙන නිසාවත්, අපි කියන නිසාවත්, බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ කියන නිසාවත්, බුදුන් කියන නිසාවත්, කිසිම කෙනෙක් කියන නිසා නොවෙයි. ඔබම විමසන්න, මෙය නිවැරදි ධර්මයදැයි ඔබම විමසන්න. මෙහි අදහස ඔබ තුළින් ඔබටම සාන්දිට්ඨික වී නම් පමණක් මෙය සත්‍ය ධර්මයක් ලෙස දරාගන්න.
ප්‍රථමයෙන් ඔබ මෙම Youtube නාලිකාවෙන්, පොත් සහ සඟරාවන් හරහා ලබාගන්නා දැනුම, ඔබ දන්නා දැනුම ඇසුරෙන් බුද්ධිමය වශයෙන්, මෙම ධර්මය සත්‍යයක්දැයි විමසන්න. මෙය ඔබට වැටහේ නම්, ඔබට ඔබ තුළින් සත්‍යය යැයි දැක ගත හැකි ධර්මයක් නම් පමණක් බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ විසින් පෙන්වා දෙන ප්‍රතිපදාවෙහි පුහුණුවෙන්න. එම පුහුණුව ඔබ නිවන කරාම ගෙනයාවි. අපව එම පුහුණුව නිවන කරාගෙන ගියා මෙන් ඔබවද එම පුහුණුව නිවන කරාම ගෙනයාවි. බුද්ධ පරිනිර්වාණය අභියස, ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසූ විට, “ඔබ වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ගුරු තනතුරෙහි තබන්නේ කවුරුදැයි කියා”, බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ “සෝධම්මං පස්සති සෝ මං පස්සති” යනුවෙනි. ධර්මය දකින්නා, බුදුන් දකී. ඔබටත් ධර්මය ඔබ තුළින් දැකීම තුළින් බුදුන් දැකීමට හැකිවේවා. එවිට ඔබට වැටහේවි. ඔබ මේ දුර්ලභ මනුෂ්‍යත්වයක් දරාගෙන ඉපදී සිටින්නේ බුද්ධෝත්පාද යුගයක බව.
ඒ උතුම් වූත්, සුන්දර වූත්, පරම ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ඔබටත් ලැබේවා!!!.